නුවරඑලියෙ යන්න ආපු මම මොකටද එකපාරටම
කඩුගන්නාවේ නතර වුනේ කියලා බලන්න ඇති. ඒකට හේතුව ඉතිං හරිම සරලයි. කලින් ලිපියෙනුත් කීවා වගේ කඩුගන්නාවේ තියෙන ගොඩක් තැන් පාරෙ ඉඳලම, අමුතුවෙන් යන්නෙ
නැතුව බලන්න පුලුවන්කම තිබීම තමයි අංක එක. ඊළගට මේ තැන් බොහොමයක් ඉතාමත් ලඟ ලඟ
පිහිටා තිබීම. එහෙම නැතුව මග තියෙන හැම දෙයක් ගැනම විස්තර කරන්න ගියානම්
විශේෂයෙන්ම ඔය කෑගල්ල ආශ්‍රිතව හම්බවෙන උතුවන්කන්ද වගේ තැන් ගැන නවකතා උනත් ලියන්න
පුලුවන්. අපේ ප්‍රධාන අරමුණ නුවරඑළියෙ යන
එක නිසාත්, අර මුලින් කියපු සුවිශේෂීත්වය තියෙන නිසාත් කඩුගන්නාවෙ පොඩ්ඩක් නතර
වෙන්න කියලා හිතුවා.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය දිගේ යන කෙනෙක්ට
පහල කඩුගන්නාව ප්‍රදේශයේදී අමුතු බිංගෙයක් හම්බවෙනවා. ටිකක් විතර ලොකු කලුගලක්
විදලා තමයි මේ බිංගේ හදලා තියෙන්නෙ.
කඩුගන්නාව බිංගෙය |
මේක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න කොට හිතෙන
දෙයක් තමයි ඇයි මේක මෙහෙම හැදුවෙ කියලා. එක්කෝ කලුගල සම්පූර්ණයෙන්ම කුඩු කරලා
දාන්න තිබ්බා, නැත්තම් දැන් තියෙනවා වගේ බයිපාස් එකක් හදන්න තිබ්බා. ඇයි මේක
මෙහෙමම හැදුවෙ කියලා හෙව්වොත් අමුතු හේතු ටිකක් හොයාගන්න පුලුවන්.
මේ බිංගෙය නිර්මාණය කරලා තියෙන්නේ W.F. ඩේවිඩ්සන් කියලා බ්‍රිතාන්‍ය
ජාතික ඉංජිනේරුවරයෙක්. ඒ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය ඉදිකරද්දී. මේ මාර්ගය තමයි
සුද්දා අපේ රටේ හදපු පළවෙනි මහාමාර්ගය. ඉතින් ඔය පාර කඩුගන්නාව හරියෙන් හදද්දී
සිංහලයෙක් අර කියපු ඉංජිනේරුවාට කරපු අභියෝගයකට පිළිතුරක් විදිහට මෙහෙම හැදුවා
කියලා කියනවා. තවත් කතාවක කියවෙන විදිහට ඒ කාලේ කන්ද උඩරට සිංහලයෝ අතර අදහසක්
තිබිලා තියෙනවා කවදාකවත් සුද්දාට උඩරට රජකම් කරන්න හම්බවෙන්නෙ නෑ කඳු පර්වත විදගෙන ආවෙ නැත්තම් කියලා. ඔන්න ඕකට
දීපු රිටර්න් එකක් විදිහට සංකේතාත්මකව මේ නිර්මාණය කරා කියලත් කියවෙනවා.
හැබැයි ඔය හේතු දෙකම ටිකක් විතර සුද්දාට
පක්ෂපාතී හේතු. අපේ පැත්තට ටිකක් බර කරොත් ඩිසයින් එකේ කොතනක හරි වැරැද්දක් නිසා
ඔය කලුගල මගහරින්නෙ නැතුව මොන ක්‍රමේට හරි විදින්න වුනා කියලා හිතන්න බැරිද. මොකද
අපිටනම් සමහර ඉංජිනේරුවන්ගෙන් එහෙම ඩිසයින් හම්බවෙනවා. ඒ වගේ සැලසුම් කඩදාසියේ
තියෙන දේවල් මහපොලොවෙ පැළ කරන්න ගියාම ඔලුව විකාර වෙන අවස්තා අනන්තයි. සුද්දට
වැරදිච්ච තැන් සටහන් වෙලා තියෙන්න පුලුවන්කම ඉතා අල්පයි. මොකද ඒක ඌට මදිකමක්. ඒ
කතන්දර කොහොම කොහොම වේවා මේ නිර්මාණය නම් අති විශිෂ්ඨයි.
මේ බිංගෙය පහු කරගෙන ටිකක් ඉස්සරහට යනකොට
පාරෙ දකුණු පැත්තෙන් දැකගන්න පුලුවන් ටිකක් උස කුළුණක්. ඒ ඩෝසන් කුළුණ.
ඩෝසන් කුළුණ |
අර මුලින් සඳහන් කරපු මහනුවර-කොළඹ මහාමාර්ගය ඉදිකරලා තියෙන්නේ 1820 දශකයේදී. මේ ව්‍යපෘතිය භාරව හිටපු ව්‍යපෘති අධ්‍යකෂකවරුන් විදිහට කටයුතු කරලා තියෙන්නේ කැප්ටන් ඩෝසන් හා මේජර් තෝමස්. නමුත් මේ ඉදිකිරීම් කටයුතු නිමා වෙන්න කලින් කැප්ටන් ඩෝසන් මිය ගිහින් තිබෙනවා. ඒ 1829 දි. ඔහු මිය ගියේ විෂඝෝර සර්පයෙකුගේ දෂ්ඨනයකට ලක්වෙලා කියලා කියවෙනවා. නමුත් ව්‍යපෘතිය නතර කරන්නෙ නැතුව දිගටම කරගෙන යන්න අනෙක් නිළධාරීන් සමත් වෙලා තියෙනවා. කැප්ටන් ඩෝසන් ගැන කියවෙන විදිහට, ඔහු ජීවත්ව සිටි කාලයේ ඒ ප්‍රදේශයේ උදවිය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. ඒ නිසාම ඒ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත එවකට ආණ්ඩුකාරවරයා මේ කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් සිහිවීම පිණිස 1832 දී මේ නිර්මිතය කළ බව සඳහන්.
මේ ඩෝසන් කුළුණ ළගටම යන්න පුළුවන්. ඇතුලට
යන්නත් පුළුවන්. හැබැයි පාරෙ ඉදලම වුනත් හොදට බලා ගන්න පුළුවන්.
ඩෝසන් කුළුණ
පහුකරගෙන යනකොට පාරෙ අනික් පැත්තෙන් අපේ රටේ තවත් එක උප සංස්කෘතියක අභිමානය පෙන්වන
තැනක් බලාගන්න හම්බවෙනවා. ඒ තමයි ජාතික දුම්රිය කෞතුකාගාරය.
ජාතික දුම්රිය කෞතුකාගාර භූමියේ සංරක්ෂණය කරන ලද දුම්රිය යුගලයක් |
මේ ස්ථානයට ප්‍රධාන මාර්ගයට අමතරව දුම්රියෙනුත් ලගා වෙන්න ඉතාමත් පහසුයි. කඩුගන්නාව දුම්රිය ස්ථානය මේ ආසන්නයේම පිහිටන නිසා. දුම්රියෙන් එන අයට ප්‍රසිද්ධ කඩුගන්නව දුර්ගය හරහා ගමන් කරන්නත් පුලුවන්. කඩුගන්නාවේදී ජාතික දුම්රිය කෞතුකාගාරය පිහිටුවීම කරලා තියෙන්නෙ 2014දි. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ 150 වන සංවත්සරයට
සමගාමීව.
උඩරට කඳුකරයේ තේ කෝපි ආදී නිෂ්පාදන කොළඹට
රැගෙන ඒමේ අරමුණින් බ්‍රිතාන්‍ය ජාතිකයන් ආරම්භ කරපු දුම්රිය සේවාව පසු කාලීනව
ලංකාව පුරාම පැතිරුනා. ඒ කාලේ ඉඳලම දුම්රිය භාවිතා කරපු මිලියන ගණනක මිනිස්සු,
ටොන් මිලියන ගණනක භාණ්ඩ දැඩි ජවයකින් යුක්තව ඇදගෙන ගියපු දුම්රිය එංජින්, දුම්රිය
මැදිරි, භාණ්ඩ ප්‍රවාහන ගැල්, දොඹකර හා අනෙකුත් යන්ත්‍රෝපකරණ රාශියක් අද මෙතන
විවේක ගන්නවා. ගල් අඟුරු භාවිතා කරලා වාෂ්ප බලයෙන් දුවපු දැවැන්ත යකඩ යක්කු,
රාජකීයයන් වෙනුවෙන් ඉදිවුන අති සුඛෝපභෝගී මැදිරි, පටු ආමාන, පුළුල් ආමාන හැම එකකම
ධාවනය වුනු දුම්රිය ඉතාමත් විශිෂ්ඨ ලෙස සංරක්ෂණය කරන්නට දුම්රිය බලධාරීන් කටයුතු
කරලා තිබීම ඉතා ප්‍රශංසනීය කටයුත්තක්.
බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන්නට
කටයුතු කරත් අපේ රටේ තියෙන්නේ අපිටම ආවේණික වෙච්ච දුම්රිය සේවාවක්. පැයට කිලෝමීටර 200-300 වගේ වේගයෙන් ධාවනය වෙන විදුලි දුම්රිය
දියුණු රටවල භාවිතා කරත්, අපේ දුම්රිය දැවැන්තයන්ගේ තේජවන්ත ගාම්භීරත්වය එක්ක ඒ
කිසිම දේකට හැරෙන්නවත් බෑ කියලා බය නැතිව කියන්න පුළුවන්.
ඉතින් ඒ අභිමානයත් හිතේ දරාගෙන අපි ඉදිරියටම
ගමන් කරා.
මීළඟ කොටසින් හමුවෙමු...
සටහන :- ඇම්.පී.බී
ඒක මාර ගමනක් වෙයි brother ✌️
ReplyDelete