බටහිර වෙරළෙන් සීතල කඳුකරයට |S01E02|NuwaraEliya|සංචාරය







අභ්‍යන්තර තැනිතලාවෙන්  මධ්‍යම කඳුකරයට

හදිස්සියේම වගේ සෙට් වුනත් යන විදිහ ප්ලෑන් කරලා නිවාඩු එහෙමත් අරගෙන පාන්දරින්ම ඇවිත්, නඩයට එකතු වෙලා නුවරඑළියේ යන්න පිටත් වුන හැටි මං කලින් ලිපියෙන් විස්තර කරා. නඩය කීවට එකේ හිටපු ගාන මතක ඇති.  උදේ 8.00 වෙද්දී පිටත් වෙන්න ලැබුන නිසා දවල් 1.30 – 2.00 විතර වෙනකොට නුවරඑළියට යාගන්න පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරා.

වේයන්ගොඩ නගරය පහු කරලා නිට්ටඹුවට ඇවිත් එතනින් වරකාපොල පැත්තට හැරෙව්වා. හරවලා ටික දුරයි ඉස්සරහට ගියේ. මාරම ට්‍රැෆික් එකක්. අපි මේ ගමන යන්න යොදාගත්තෙ පෙබරවාරි මාසයේ දීර්ඝ සති අන්තයක්. දවස් තුනක නිවාඩුවක් හම්බවුන නිසා හැමෝම වගේ එක එක දිහාවලට ට්‍රිප් යනවා. සමහර අය අනුරාධපුරේට වන්දනා ගමන් යනවා.  ගොඩක්ම ඔය වැඩිහිටි සමිති වලින් තමයි ඒවා ගියේ. ඒ අයගෙන් සමහරක් බස් 3-4 තියෙන නඩ වලට තමයි සම්බන්ධ වෙලා තිබුනේ. තව කොටසක් වෑන් වල යනවා. ඒ අතරින් අපි වගේ කාර් එකක යන අය නැතුවම නෙවෙයි. ඒ අස්සේ සමහර පාරෙ දුවන  බස් මග අහුලනවා. නිවාඩු දවසේ සෙනගත් නෑනෙ.  බස් එක පාරෙන් එකයි. එතකොට පිටිපස්සෙන් එන අනික් ඔක්කොමත් බස් එක එක්කම ගාටන්න ඕනා.

 දවස් තුනක නිවාඩුවකුත් තියෙද්දීත් නිවාඩු ගන්න ඕන වගේ කතන්දරයක් මං කලින් ලිපියේ වගේම මේකෙ මුලදීත් කිව්වෙ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒක තමයි අපේ රැකියාවල හැටි. රජයේ නිවාඩු, පෝය නිවාඩු, ඒවා අදාලම නෑ. අවුරුද්දේ 365 දවසම අපි වැඩ. අදාල මාසේ කැලැන්ඩරයට අනූව සෙට් වෙන නිවාඩු ටිකක් තියෙනවා. ඒ ටික කළමනාකරණය කර ගන්න ඕනා. සෙනසුරාදාට  මං කලින් ඉල්ල ගත්තු නිවාඩුවක් තිබුනා. පෙබරවාරි 04 නිදහස් දවසෙත් වැඩ කරපු නිසා සිකුරාදා නිවාඩුවක් ගන්න පුලුවන් වුනා. මේක මට විතරක් නෙවෙයි අපේ අයියාටත් අදාලයි. මොකද අපි දෙන්නාම එකම ක්ෂේත්‍රයේ.

කොහොමහරි අපි ටික ටික වරකාපොල පැත්තට ඇදෙනවා. ඊට පස්සෙ අඹේපුස්සෙන් නුවර පැත්තට යන්න හිතාගෙන. මග තියෙන ෂෙඩ් එකකට දාලා ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහගත්තා. බර ගාණක තෙල් ඒ වාහනේට ගහන්න පුලුවන්. ආයෙ පාරට දාගත්තා.

යන අතරමග දකුණු පැත්තෙ පාර අයිනෙම ලොකු පිට්ටනියක් තිබ්බා. ඒකෙ මොකක් හරි නිකන් කානිවල් එකක් වගේ අයිටම් එකක් තියෙනවා. “ ශ්‍රී ලංකාවේ එකම හා විශාලතම ජංගම ග්‍රහලෝකාගාරය’ කියලා ගහපු බෝඩ් කීපයක් තැන් තැන් වල තිබ්බා. මොකද්ද කියලා බලපුවාම ඉග්ලූ නිවාසයක් වගේ එකක් හදලා තියෙනවා. කොහොමත් “එකම’ එක නම් ඒක බිත්තර කටුවක් තරම් වුනත් “විශාලතම” එක වෙනවා තමයි. හැබැයි දරලා තියෙන උත්සාහය අගය කරන්න ඕනා.

අඹේපුස්ස පහු කරලා ඉස්සරහට යනකොට පාර හදන්න බොරලු කපපු තැනක් දැක්කා. එතන කපලා තියෙන විදිහට එච්චර උඩකට බැකෝ එකක් අරන් ගිහින් බොරලු කැපුවෙ කොහොමද කියලා හිතාගන්න බෑ. ලංකාවේ වැඩ්ඩෝ ඉන්නවා කියන්නෙ නිකන් නෙමේ. අඹේපුස්සෙ ඉදන් මහනුවර පැත්තට යන කෙනෙක්ට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තැනිතලාවේ සිට මධ්‍යම කඳුකරයට ප්‍රවිෂ්ඨයේදී භූ විෂමතා වෙනස් වීම හොඳට බලාගන්න පුලුවන්.  උඩට යන්න යන්න පාර අයිනේ පොඩි පොඩි කඩ තියෙනවා. ඒ තැනක නතර වෙලා උණු උණු පොල් රොටියක් නයි මිරිස් කට්ට සම්බෝල එක්ක කාලා ප්ලේන්ටියක් ගහලා යන්න ඕන කෙනෙක්ට පුලුවන්. ආයෙ තම්බපු  බඩඉරිගු එහෙමත් තියෙනවා.

තව ටිකක් උඩහට යනකොට කඩුගන්නාව හම්බවෙනවා. කඩුගන්නාවට විශේෂත්වයක් ලැබෙන්න හේතුවක් තමයි අපේ ඉතිහාසයට සම්බන්ධ රසබර දේවල් කිහිපයක්ම එහෙදී දැකගන්න පුලුවන්වීම. හබැයි ගොඩක් තැන් අමුතුවෙන් ගිහින් බලන්න ඔනේ නෑ. මොකද ඒ තැන් බහුතරයක් මහපාර අයිනෙම තමයි පිහිටලා තියෙන්නෙත්. ඒ දේවල් හාරඅවුස්සලා දැකගන්න බැරිවුනත් සැලකිය යුතු මට්ටමකින් මහපාර අයිනෙ ඉඳලම දැකගන්න පුලුවන්. එහෙමනම් ඉතින් මීළඟ කොටසින් කඩුගන්නාවේදී හම්බවෙමු.

සටහන :- ඇම්.පී.බී

Comments

  1. ලේසියෙන්ම අදහසක් ගන්න පුඑවන් වෙන්න තියනව

    ReplyDelete

Post a Comment