හැටන් නල්ලතන්නි මාර්ගයෙන් සිරි පා කරුණා කලෙමු.


මෙවර ශ්‍රී පාද වන්දනා සමයේ ඇරඹුමත් සමගම 2020 වසර ආරම්භයේම කුරුවිට එරත්තන මාර්ගයෙන් සිරි පා කරුණා කළ මාගේ අත්දැකීම් සමුදායන් මීට ඉහත ලිපියකින් සවිස්තරාත්මකව සඳහන් කල අතරම එම ගමනෙන් පසු ශ්‍රී පාද වන්දනාවට මෙන්ම ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වීමට නොනිමි ආශාවක් මා සිත තුළ කෙමෙන් කෙමෙන් හට ගැනුනි. එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි මස අවසන් භාගයේ නැවතත් හැටන් නල්ලතන්නි මාර්ගයෙන් සිරි පා කරුණා කිරීමට අවස්ථාවක් උදා විය.

කුරුවිට එරත්තන මාර්ගයෙන් සිරි පා කරුණා කොට නිවසට පැමිණි මාගේ කටේ සති ගනනක් යන තුරු තිබුනේ සිරි පා කරුණා කර ගමනේ විස්තරයි එක් දිනයක මගේ නිවසට පැමිණි සදාදිත් මල්ලිටත් මාගේ කුඩා කල පටන් අතිජාත මිත්‍රයෙකු වූ තිලාන්ටත් මේ ගැන තොතෝන්චියක් නැතිව කියවන්නට විමි. නිසැකවම ඔවුන් දෙදෙනාගේ කන් හොදටම පිරුණු බවට සැකයක් නම් නැත. "අයියේ ඉතින් ඔච්චරම කියන එකේ අපිත් යමුකෝ මමත් ගිහින් නෑ සිරී පාදේ" හඬ අවදි ක‍ෙරූ සඳා මල්ලී කියා සිටියේ නැවතත් සිරි පා කරුණා කිරීමකට පාර කපමින්ය. මෙවර සිරි පා කරුණා කිරීමට රත්නපුර පලාබද්දල මාර්ගය හෝ රාජමලේ සඳගල තැන්න මාර්ගය තෝරා ගැනීමට සිත් වූවත් අපගේ නඩයේ කෝඩු කාරයින් සිටිනා බැවින් කරුණා කිරීමට කා අතරත් වඩාත්ම ජනප්‍රිය මෙන්ම දුරින් අඩුම මාර්ගයක් වන හැටන් නල්ලතන්නි මාර්ගය තෝරා ගැනීමට සිදු විය. (මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කරුණ වන්නේ ශ්‍රී පාද පද්මය කරුණා කිරීමට හඳුනාගත් මාර්ග 6ක් පැවතීමයි, මා මේ පිලිබඳ වෙනත් ලිපියකින් සවිස්තරාත්මක සඳහනක් ගෙන ඒමට බලාපොරොත්තු වේ.)
කරුණා කිරීමට පෙබරවරි මස 26 සහ 27 යන දෙදින යොදාගත් අතර අපගේ නඩය 6 දෙනෙකුගෙන් සමන්විත විය. (තිලාන්, යසික (Yaka Infinite), සදාදිත් මල්ලි, කේෂර මල්ලී, වාහල) මාගේ මතකය නිවැරදි නම් ඉන් තිදෙනෙක්ම කෝඩුකාරයින් විය.

කරුණා කිරීමට නියමිත දිනය එළෑඹිණි. ගමනට අවශ්‍ය කළමණා ආදිය රැස් කරගත් අපි පොල්ගහවෙල දුම්රිය පොළට එකතු වූයේ (11.07 පොල්ගහවෙලින්) කොළඔ සිට බදුල්ල බලා යන සීඝ්‍රගාමී දුම්රියට ගොඩ වූයේ හැටන් බලා යන අරමුණෙනි. දුම්රිය ගමන මනස්කාන්ත මෙන්ම දුම්රිය ගමනේ වෙහෙස නිවාලන උඩරට දුම්රිය මාර්ගයේ ඉදිරියට ඇදෙමින් හැටන් වෙත ලගා වන විට පස්වරු 3 පමණ වී තිබුණි.

අනතුරුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේම නවතා තිබූ හැටන් නල්ලතන්නී බස් රියට ගොඩ වූ අපි මග අසිරි නරඹමින් මා උස්සා කැලේ ජලාශයද සුමන සමන් දේවාලයද පසු කරමින් නල්ලතන්නියට ලඟා වන විට පස්වරු 4ට පමණ විය. (ශ්‍රී පාද වන්දනා සමයේ අනිවාර්යෙන්ම හැටන් දුම්රියපොලේ සිට නල්ලතන්නිය දක්වා බස් රථ සේවාවක් ක්‍රියාත්මක වේ.)
මා උස්සා කැලේ ජලාශය
නල්ලතන්නියෙන් දිවා ආහරය ගත් අපි ඉන් අනතුරුව සීත ගඟුල කරා ඇඳුනේ නාගෙන පිරිසිදු වීමටය නමුත් ඉන් මා දුටු එක් දර්ශනයකින් මා මහත් සේ කම්පනයට පත් විය. කොතරම් රාජ්‍ය නොවන ආයතන රාජ්‍ය ආයතන විවිධ සංවිධාන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව පොලීසිය මුල් කරගෙන කැලි කසල වලින් තොර ශ්‍රී පාදයක් ගොඩ නැගීමට වෙර දැරුවද අපගේ මින්සුන් විසින්ම එම ප්‍රයත්නයන් විනාශ කර දමයි සිරි පා අඩවියේ සුන්දරත්වය කසල වලින් අසුන්දර කරයි මේ මිනිසුන්ගේ නොසැලකිල්ද නැතිනම් ආත්මාර්තකාමීතවය ද? ඒ තරමටම එදා සීත ගඟුල අපිරිසිදු විී ඇත. යම් තාක් දුරට හෝ එම පරිසරය රැකී පවතින්නේ මා කලින් සඳහන් කළ පුද්ගලයින්ගේ මැදිහත් වීම මතය ඔවුන්ට මාගේ නොමද ආචාරය හිමිවේ.

නාගෙන පිරිසිදු වූ නඩයේ සැම පස්වරු 7.30 පමණ වන විට අපගේ කෝඩුකාරයින්ට අවශ්‍ය කෝඩු පැකට් ද රැගෙන තෙරුවන් නැමද සුමන සුමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිරි පා කරුණාවට පිටත් විය. නල්ලතන්නි මාර්ගය ඉහත මා සඳහන් කෙරූ මාර්ග 6 පහසුකම් අතින් විශාල ලෙස නවීකරණය වූ විශාල වශයෙන් බැතිමතුන් සිරි පා කරුණා කිරීමට යොදා ගන්නා නවීකරණය වූ මාර්ගයයි. නල්ලතන්නියේ සිට උඩ මලුවට 6km පමණ දුරක් තිබීමද මෙම මාර්ගය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවක් ලෙස මට සිතේ. අප කරුණා කරන දිනේද විශාල වශයෙන් බැතිමතුන් කරුණා කෙරූ දිනයක් විය. ක්‍රමයෙන් මකර තොරණ ජපන් සාම විහාරය පසු කරමින් (අද වන විට ජපන් සාම විහාරය හරහා යන පැරණි ගල් ඇතිරූ මාර්ගය මෙන්ම නවීකරණය කරන ලද ජපන් සාම විහාරය මඟ හැර යන මාර්ගයක් ද පවතී.) ගඟුලතැන්න සහ සීත ගඟුල වෙත පැමිණි අපි එහිදී සීත ගඟුලෙන් නැවතත් මූණ කට සෝදා අප ගෙනා ආහර ද අනුභව කොට නැවතත් කරුණා කිරීමට පිටත් විය. සීතගගුල පසු වනවාත් සමගම තිබූ කඩයකින් කහට කෝප්පයක් තොල ගෑ අපි එහි තිබ රූපවාහීනී යන්ත්‍රයෙන් එදා පැවති බටහිර කොදෙව් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවති තරඟයේ ජයග්‍රාහණය කරණ මොහොත ද නරඹා ජයග්‍රාහී ලෙස නැවතත් කරුණා කිරීමට පටන් ගතිමු. පෙර දා මෙන් තුන් සරණේ කවි කියන නඩ පසු කරමින් ගෙත්තම් පාන වෙත පැමිණි අප නඩය එහිදීද බුදුන් වැඳ කෝඩු කාරයික් හැරමිටිය එහි තිබූ වැටක අමුණා ඉඳි කටුව නූල අතට ගෙන ගෙත්තම් කරමින් උඩට කරුණා කරන්නේ ඔවුන්ගේ ජීවිතයට ද මෙය ගැඹුරු අර්ථයක් ලබා දෙමිනි. දහස් ගණන් නූල් අමුනා ඇතත් එකිනෙක පැටලෙන්නේ නැතුව හරි අපූරුවට ගෙත්තම් නූල රැගෙන යන්නේ ජීවිතයද එසේ පැටලීමකින් තොරව රැගෙන යා යුතුයි කියන පණිවිඩය නොවේ දැයි මට සිත් විය.

ඉදිකටු පාන
කෙමෙන් කෙමෙන් මහ ගිරිදඹය වෙත පිවිසුණු අපි ඇහල කණුව ලඟ තිබෙන ලංකාවේ උසම කඩෙන් කෝපි කෝප්පයක් පානය කොට රාත්‍රී 11 පමණ වන විට උඩ මලුවට ලඟා විය. අපි උඩ මලුවට යන විටත් බැතිමතුන්ගෙන් විශ්‍රාමශාලා  පිරී ඉතිරී ගොසින් ය. සිරි පාද පද්මය වැද පුදා ගත් අපි උඩමලුවේ බොහොම අසීරුවෙන් සොයාගත් තැනක රැය පහන් කොට පසුදා උදෑසනම ඉර සේවය නරඹා උදෑසනම ශ්‍රී පාදයේ උඩ මලුවට පෙනෙන අවට පරිසරයේ ඉතාමත් අලංකාර දර්ශනයන් නරඹූ අතර මා දුටු මනස්කාන්තම දසුන නම් පැහැබර කාලගුණයක් තිබූ එදින ශ්‍රී පාදයේ සෙවනැල්ලද අංකාරව දිස් වීමයි. මේ සියලු දේ විඳගෙන නැවතත් අප පහළට කරුණා කිරීම ආරම්භ කලේ මගේ සිතේ තවත් වරක් ශ්‍රී පාද පද්මය වැද පුදාගැනීමේ චේතනාව පෙරදැඩි කරගෙනය.



උඩ මලුව සුමන් දේවාලය හා සිරි පා පද්මය

උඩමලුවේ ඝාන්ඨාරය

ඉර සේවය



සටහන: MPS         
   

Comments