බටහිර වෙරළෙන් සීතල කඳුකරයට |S01E04|NuwaraEliya|සංචාරය




පුංචි එංගලන්තය



කඩුගන්නාවේ ඒ අසිරිමත් දේවල් ටික වැඩිය ඔට්ටු වෙන්නෙම නැතිව බලාගත්තු අපි ඉදිරියටම ගමන් කරා. ආපහු පාරක් කඩුගන්නාවට යන්න ඕනෙ වුනොත් මෙතනින් එහාට යාගන්න පුළුවන්. දිගටම ඇවිල්ලා පේරාදෙණියෙන් හරවලා නුවරඑලිය දිහාවට ඇදුනා. 

මේ පාරෙ යනකොට හම්බවෙන පේරාදෙණිය සරසවිය හැමෝම බලන්න ආසා කරන තැනක්. ඒකේ ඉංජිනේරු පීඨය ඉස්සරහින් යනකොට “ඔතන තමයි ඉංජිනේරුවන්ට උගන්නන්නේ. කොහොමහරි මෙතෙන්ට එන්න ඕනා” කියලා අයියා පුතාට කියනවා. කොල්ලා මුකුත් නොකියා වීදුරුවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. මේ තැන් වලට එන්න තරම් වාසනාවක් නොතිබුනත් මේකෙම එල්ලිලා ඉන්න පුළුවන් මට්ටමකට ආවා. හැබැයි වාසනාව කියන්නෙත් නිකන් හම්බවෙන දෙයකුත් නෙවේ. අද ඒ ගොල්ලොත් එක්කම එක බත් එක බෙදාගෙන කන ගමන් ජොබ් එකේ කට්ටත් බෙදාගෙනම කනවා. හොදි නැතුවම. ඔය වගේ සිතුවිලි සයුරක කිමිදෙමින් වැස්සකට අර අදින අහස දිහා බලාගෙනම ඉස්සරහට ගියා.

දැන් ඉතින් දිගටම වංගු හම්බවෙනවා. සමහර තැන්වල තියෙන දැඩි බෑවුම් නාය යන එක වලක්වා ගන්න ඒ බෑවුම් කොන්ක්‍රීට් ආවරණයකින් වහන්න කටයුතු කරන එකනම් සෑහෙන්ට වටිනවා. එහෙම ෂොට්ක්‍රීට් කරන තැනකුත් මගදි හම්බවුනා. ආයෙ ගල් පර්වත පාරට කඩාවැටෙන එක නවත්තන්න විශාල දැල් සවිකරලා තිබ්බා. ඒ සිස්ටම් එක මම මුලින්ම දැක්කෙත් මෙතෙනෙදිම තමා.

යනකන්ම කට පුරෝලා බඩ පැලෙන්න කන්න නානාප්‍රකාර කෑම ජාති අක්කා උස්සගෙන ඇවිල්ලා තිබ්බා. ඒවා වාහනේට ගොඩවෙච්ච වෙලාවේ ඉඳලම කාලා කාලා බඩගින්නක් නම් තිබුනෙ නෑ. ඒත් ප්ලේන්ටියක් ගහලා යමු කියලා මග කඩේකින් නැවැත්තුවා. නැවත්තුව මෝඩකම කියලා පස්සෙ හිතුනා.

උඩහට යන්න යන්න පාර අයිනේ එක එක හැඩේට එක එක පාටට, කඳුයායවල් වල මනස්කාන්ත දර්ශන පේන විදිහට හදපු රෙස්ටොරන්ට් වගේ අයිටම් තියෙනවා. සමහර එවා ඔය තේ කර්මාන්තශාලා වගේ ඒවට කෙලින්ම සම්බන්ධයි. හැබැයි මේවා ගොඩක්ම ඔය විදේශීය සංචාරකයන් ඉලක්ක කරලා තමයි පවත්වාගෙන යන්නෙ. ඒක හින්දා අපි වගේ අයට සෙට් වෙන්නෙ නම් නෑ. බැරිවෙලා හරි ගොඩවුනොත් වාහනේ තියලා තමයි පිටවෙන්න වෙන්නේ.

දැන් ඉතින් දිගටම පාර දෙපැත්තෙම තේ වතු හම්බවෙනවා. තේ අපනයනයෙන් අපේ රටට ලොකු මුදලක් ලැබෙනවා. මහාමාර්ගය දිගේ මෙදාපාර මම නුවරඑළියට යන්නේ අවුරුදු ගානකට පස්සේ. මොකද ඊට පස්සේ ගියේම දුම්රියෙන්. හැබැයි එහෙම මහාමාර්ගයේ යනකොට ඉස්සර සෑහෙන්ට උඩහට ගියාම, තේ වතු මැද්දේ හම්බවෙච්ච සුදු පාට අකුරු  පෙළක් තිබ්බා. “MACKWOODS” හැම තැනම ඔය අකුරු පෙල පොඩියට ගහලා තිබ්බා. කොහොමහරි පැය ගානක් ඔය අකුරු දිහා බල බල යන්න ඕනා. නමුත් අද ඒවා නෑ. ඕක ගැන අපි කතාවෙවී විමසිල්ලෙන් යනකොට ඒ වෙනුවට වෙන අකුරු පෙළක් දැකගන්න ලැබුනා. “DAMRO Tea”. ඒක තමා දැන් තියෙන අකුරු පෙළ. පස්සෙ තමා අපි දැනගත්තේ ඒ වතුයායම අද දම්රෝ සමාගමේ දේපලක් බව. දේශීය සමාගමක් ඒ වගේ තැනකට ආපු එක ගැන නම් ඇත්තටම ආඩම්බරයි. කන්දක යෝධ අකුරෙන් MACKWOODS කියලා ගහලා තිබ්බ තැන අද තියෙන්නේ DAMRO Tea කියලා. ආපහු එන ගමන් දම්රෝ ලබුකැලේ තේ කම්හල හරියෙ නතර වෙමු කියලා කතාවෙලා අපි උඩහටම ගියා.



එකල තිබූ MACKWOODS - මේක කලින් ගත්ත එකක්


දැන් තියෙන DAMRO Tea


තේ වතු වලින් අපේ රටට මොනතරම් ආදායමක් හම්බවුනත් ඒවාගෙ වැඩ කරන සේවකයන්ගේ ජීවන තත්තවය නම් බොහොම කනගාටුදායකටයි. සමහරු තවමත් ජීවත් වෙන්නේ එදා බ්‍රිතාන්‍ය ජාතිකයන් හදලා දීලා ගියපු ලයින් කාමර වල, බොහොම අඩු පහසුකම් යටතේ. සමහරු කියනවා මේ උදවියගේ ජීවන තත්ත්වය උසස් කරන්න පියවර ගන්නෙ නැත්තෙ තේ වතු වලට අවශ්‍ය ශ්‍රමය ලබාගන්න බාධා වෙන නිසා කියලා. නමුත් ඒවගෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ. අපිට සැපට යන්න වාහන ගන්න, ඒවට තෙල් ගහන්න, ඕන කරන සල්ලි අපේ රටට ගේන්න මේ ශ්‍රමිකයෝ කරන්නේ මහා වේදනාබර කැපකිරීමක්.

පාර අයිනෙ තියෙන පුංචි පුංචි එළවළු කඩ, වාහනයේ වීදුරු පාත්කරාම එන තද සීතල, දැන් අපි නුවරඑළියට ලඟයි කියන එක නම් අඟවනවා. ඔන්න එක පාරටම ලොකු තොරණකුයි, ඒක ළඟම නුවරඑළිය කියලා ගහලා තියෙන අර කොළපාට බෝඩ් එකයි හම්බවුනා. මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර 1893. සෙල්ලම් නෑ.

නුවරඑළිය කියන්නෙ තනිකරම සංචාරක නගරයක් කීවොත් ඒකෙ වැරැද්දක් නෑ. ඉතින් මීළඟ කොටසින් ඒ සංචාරක නගරය පීරමු.

සටහන :- ඇම්.පී.බී

Comments