බටහිර වෙරළෙන් සීතල කඳුකරයට |S01E01|NuwaraEliya|සංචාරය









ගමනක ආරම්භය

“ආ.. මේ. සෙනසුරාදා වැඩද?”
“වැඩ නම් නෑ... මොකද්ද කේස් එක?”
“නුවරඑලියෙ යන්න කියලා බැලුවෙ...දවස් තුනක්”
“අප්පා එහෙමද?..කවුරු කවුරුද යන්නේ?”
“කට්ටියක් නෑ. අපේ ගෙදර අය විතරයි යන්නේ...  එතකොට. සිකුරාදා නිවාඩු ගන්න පුලුවන්ද?
“සිකුරාදා ඉතින් බලමු. ගන්න බැරි වෙන එකක් නෑ.  හවසට කෝල් එකක් දෙන්නම්.”
“හරි. මාත් රෑ වෙලා කතා කරන්නම්”

ඔන්න ඔය විදිහට තමයි අපේ අයියා කෙනෙක් නුවරඑලියෙ ට්‍රිප් එක ගැන මගෙ ඔලුවට මුලින්ම දැම්මේ. මේ කියන දවස බදාදා දවසක්. ඒ වෙනකොටත් මම වැඩ කරන ගමන් හිටියෙ. එදාම දවල් බොස්ගෙන් සිකුරාදාට නිවාඩුවක් ඉල්ලගන්න පුලුවන් උනා. බ්‍රහස්පතින්දා රෑ වෙනකොට ගමනට ඕනා කරන දේවල් ඔක්කොම වගේ කලින්ම කතා කරගෙන ලෑස්ති කරගත්තා. සිකුරාදා පාන්දරින්ම හලාවත ටවුන් එකට ඇවිල්ලා වවුනියාව-කොලඹ බස් එකක නැගලා කටුනායක 18 කණුවෙන් බැහැගත්තා. ඊට පස්සෙ එතනින්ම මීගමුව-මහනුවර බස් එකකට නැගගත්තා. මොකද අපේ අයියා පදිංචි වෙලා ඉන්නෙ වේයන්ගොඩ කිට්ටුව.

මහනුවර බස් එකකට නැග්ගේ ඉක්මනට යන්න හිතාගෙන. මොකද ගුවන්තොටුපොල-නිට්ටඹුව, ගුවන්‍තොටුපොල-වේයන්ගොඩ බස් යන විදිහ මම අත්දැකීමෙන්ම දන්න නිසා. ඔන්න බස් එක ඇවිල්ලා ඇවරිවත්තෙ ස්ටෑන්ඩ් එකට දැම්මා. අප්පා, මේ යකා බස් එක හරියටම පැය බාගයක් තියාගෙන හිටියා. නිට්ටඹුව බස් ඒ අස්සේ පිටත් වෙනවා. “මං පවු”.

කොහොමින් කොහොම හරි බස් එක දෙවෙනි වතාවටත් පිටත් වෙලා කටුනායක ගුවන්තොටුපොලේ පිටත්වීම්, පැමිණීම් පර්යන්ත පහුකරලා නයිකන්ද හරියට යන්න හම්බවුනෙත් නෑ, අපේ අයියා මට කෝල් කරනවා.

“හෙලෝ’
“ආ කොයි හරියෙද දැන්?”
“තව එයාපෝට් එකේ. බස් එක ඇවරිවත්තෙ තියාගෙන හිටියනෙ”
“ආ හරි හරි ඇවිල්ලා කතා කරන්නකො. අපිත් තව ගෙදර”
“එල එල”

අවුලක් නෑ. පරක්කු මං විතරක් නෙවේනෙ. කොහොමින් කොහොම හරි බස් එක නයිවල හන්දියට ආවා. එතෙනෙදි මං මගෙ අර තඩි බෑග් එකත් අරගෙන බහැගත්තා. පට්ටම බඩගිනියි. පාන්දරම ආව නිසා කාලා ආවෙත් නෑ. වටපිට බලන කොට කෑම කඩයක් දැක්කා. ගිහින් කෑවා. කාලා එලියට ඇවිල්ලා ගත්තා අයියට කෝල් එකක්. “ ඇවිල්ලද ඉන්නේ?, ඔහොම්මම පන්සල ගාවට එන්නකො. අපි පන්සල ගාව ඉන්නෙ”

පන්සල දිහා බලනකොට වාහනේ තියෙනවා දැක්කා. මං එතෙන්ට ගියා. ගමන යන්න ඉන්නෙ මායි, අයියයි, අක්කයි, පොඩි උන් දෙන්නයි. උන් දෙන්නා මාව දැකලා හීනියට වගේ විරිත්තනවා. පුතා ඉස්කෝල 3 වසරේ. දුව තවම මොන්ටිසෝරි. යන්න තියෙන වාහනේ Elite කාර් එකක්. වාහනේ කොලිටිය පාවිච්චි කරන අය දන්නවා ඇති. කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා. හප්පා, ගම රට දාලා යන්න වගේ ඒකෙ බඩු මුට්ටු. කොහොමින් කොහොම හරි කරල මගෙ බෑග් එකත් අස්සට එබුවා. ඊට පස්සේ කට්ටියම වාහනේට ගොඩවුනා. නුවරඑලියෙ යන්න හදන්නේ. ඉතින් නමෝ විත්තියෙන් අපි පන්සල ඉස්සරහින්ම ගමන් පිටත් වුනා. අයියා වාහනේ ට්‍රිප් මීටර් එක හිමීට බලන අතරේ මම අත් ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව හරියටම උදේ 8.00 යි.

ආරම්භ කරපු ගමනේ ඉදිරියට යමු මීලග කොටසින්.....

සටහන :- ඇම්.පී.බී

Comments

  1. මේ style එකටම ඉතුරු එපි ටිකත් එනකන් බලන් ඉන්නව........සිංහල
    බ්ලොග් එකක් උන එක තවත් වටිනව

    ReplyDelete

Post a Comment