බටහිර වෙරළෙන් සීතල කඳුකරයට |S01E05|NuwaraEliya|සංචාරය







අසිරිය දකිමින්


මග දිගට හම්බවෙන ගොඩක් සුන්දර තැන් බල බල කඩුගන්නාව වගේ තැන් ගැන විස්තර හොය හොය නුවරඑළිය වෙනකන් ආපු හැටි කලින් ලිපියෙන් විස්තර කරා. අපි නුවරඑළිය නගර සීමාවෙන් ඇතුල් වෙලා ඉදිරියටම ගියා. කලිනුත් කීවා වගේම නුවරඑළිය කියන්නේ තනිකරම සංචාරක නගරයක්. සැපදායක දේශගුණය, ස්වාභාව සෞන්දර්යය වගේ දේවල්  මෙහෙදි අත්දකින්න පුළුවන් නිසා, නුවරඑළිය ගැන දන්නේ අපේ රටේ අය විතරක් නෙවේ. ලෝකය පුරාම විසිරී පැතිරී ඉන්න සංචාරකයෝ මෙහෙට එනවා.

ලංකාවේ ගොඩක් නගර වල අපිට දකින්න ලැබෙන පොදු දෙයක් තමයි, වෙළෙන්දන්, පාරිභෝගිකයන්, අඩු නැතිව පිරිලා ඉන්න කඩවීදි. හැම තැනම කඩ වලින් පිරිලා. දූවිලි දුම ගන්න දෙයක් නෑ. හැබැයි මෙහෙ තත්ත්වය ටිකක් විතර වෙනස්. කඩ වීදි නගරයේ එක කොටසකට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒ ප්‍රදේශවලත් අධික තදබදය කියන කාරණය නම් අත්දකින්න වෙන්නෙ ඉතාමත් අඩුවෙන්. අනික් හැම තැනම තියෙන්නේ සංචාරක හෝටල්. විදේශිකයන් නතර වෙන තරු පහේ හොටල් වල ඉදන් සාමාන්‍ය නවාතැන් වෙනකන් විශාල පරාසයක විහිදිච්ච සංචාරක සේවා සැපයීමක් මෙහිදී බලා ගන්න පුළුවන්. තියෙන එවා වගේම හැමතැනම අලුතෙන් හදන ඒවත් තියෙනවා. මහා පරිමාණෙන් අලි වංශෙන් ඉන්න ඕනා නම් එහෙමත් පුළුවන්. බජට් යනවා නම් එහෙමත් පුළුවන්.

අපි නතර වෙන්න තෝරගත්තු තැනට අපි හිමින් හිමින් ගියා. කලින්ම බුක් කරගෙන තිබුනු නිසා කෙලින්ම එතෙන්ට යන්න විතරයි තිබ්බේ. එතන අයිතිකරු Google location එක එවලා තිබ්බා. ඒ නිසා තැන හොයාගන්න අමාරු වුනේ නෑ. ඒ තැන පිහිටලා තිබ්බේ නුවරඑළිය- වැළිමඩ පාරෙ ග්‍රෙගරි වැව කෙළවර වෙන හරියෙන් උඩට හැරිලා යන පාරක. පාර දිගටම තියෙන්නේ සංචාරක් නවාතැන් තමා. එක එක ප්‍රමාණ වලින්.  ඒ පාරත් ආයෙ සුපිරිම පාරක්. කෙලින්ම කන්දක් නගින්න ඕනා නිකන් මහගිරිදඹේ නගිනවා වගේ. සෑහෙන්ට උස තැනක පිහිටලා තිබුනු නිසා පහල ග්‍රෙගරි වැව ආශ්‍රිත ප්‍රදේශය බොහොම අපූරුවා පෙනුනා. නවාතැනට ගිහින් බඩු මුට්ටු ටික කාමරේට අස් කරලා දවල්ට ගෙනාපු කෑමත් කාලා ඇවිදින්න පල්ලම් බැස්සා.


ඉහලට පෙනෙන ග්‍රෙගරි වැව



ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරිය පටන් ගන්න තැනට ආවා. එතෙන්ට ගිහින් බලනකොට එක එකෙ විදිහෙ බෝට්ටු සවාරි තියෙනවා. Full Round, Half Round, High Speed, ඔහොම විවිධ ඒවා. යන්න හිටියෙ අපි පස් දෙනා විතරයි. පහයි කීවට ෆුල් තුනයි, බාග දෙකයි. බෝට්ටුවක යන්න බලාගෙන හිටපු තව ඩබලක් සෙට් කරගෙන ගානත් දෙකට බෙදාගෙන අපි පිටත් වුනා.

මේ ග්‍රෙගරි වැව නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙක් වුන සර් විලියම් ග්‍රෙගරි. ඒ 1873 විතර. 1913 දී මේ වැවේ වතුර උමං මාර්ගයක් මගින් බ්ලැක්පූල් හි පිහිටි විදුලි බලාගාරයකට යොමු කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ බලාගාරයෙන් අදටත් නුවරඑළිය නගරයට විදුලිය සැපයීම කරනවා කියලා කියවෙනවා. අද මේ වැව මහා දැවැන්ත සංචාරක ආකර්ෂණයක්. වැවේ එක කෙලවරක හෙලිකොප්ටරයක් පවා තියෙනවා. අතේ මිටේ සල්ලි බාගෙ හොදට තියෙනවනම් එකේ යන්නත් පුලුවන්.

බෝට්ටුවෙන් ගොඩවුනු අපි නගරය පැත්තට පයින්ම යන්න පටන් ගත්තා. මෙහෙ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. කාළගුණය හැමවෙලාවෙම වගේ වෙනස් වෙනවා. වහිනවා පායනවා, මීදුම එනවා යනවා. සීතල අඩු නැතුව තියෙනවා. මෙහෙ ඔය හැමතැනම වගේ ඉන්න පෝනියන්ට අමතරව බල්ලොත් හෙන තොගයක් ඉන්නවා. සීතල දේශගුණයයි, මිනිස්සුන්ගෙන් හැම වෙලාවෙම වගේ මොනවා හරි කන්න හම්බවෙන හින්දයි මාරම ලස්සනට උන් හැදිලා තියෙනවා. වැස්සට පින්නට නිතරම අහුවෙන හින්දද  දන්නෑ උන් හෙන පිරිසිදුයි. වල් බල්ලෝ වුනාට පොෂ් බල්ලන්ට වඩා සුපිරි. තැන තැන පොඩි පොඩි කානිවල් වගේ ඒවා තියෙනවා. Season, off-season කියලා නෑ. සෙනග පිරිලා.

ඔව්වා මග දිගට බල බල ටවුමට යනකොට රෑ වෙලා. අවසාන වතාවට නුවරඑළි ආවෙ අවුරුදු ගානකට කලින් නිසා නගරය ගැන තිබිබේ අපැහැදිලි මතකයක්. රෑ කෑමට හොද තැනක්  හොය හොය යනකොට තැනක් සෙට් වුනා. කොත්තුවක් ගත්තා. ගම්මිරිස් එහෙම දාලා සුපිරියටම ඒක තිබ්බා. එතනින් කොහොම හරි බඩ කට පිරෙන්නම කාලා පහුවදාට ඕන කරන අඩුම කුඩුම ටිකකුත් අරගෙන ආපහු එන්න පිටත් වුනා.
බස් නැවතුම්පොල ගාවින් අපි ත්‍රී වීල් එකකට ගොඩවුනා. යන්න ඕන තැන කිව්වම අහපි කන්ද උඩටම යන්න ඕනාද කියලා. අපි කිව්වා පල්ලෙහායින් බහින්නම් කියලා. උඩටම යනවා නම් ගාන වැඩියි. පොඩ්ඩක් නෙවේ, ගොඩක්. එන ගමන් ත්‍රී වීල් එකේ ඩ්‍රයිවර් මහත්තයා එක්ක පොඩ්ඩක් කතාවට වැටුනා. ඔහු ලංකාවේ උසින්ම පිහිටි  ගම්මානය වෙන ශාන්තිපුර පදිංචිකරුවෙක්. රෑ එලිවෙනකම් ඉන්නවද කියලා අහපුවාම කියපු දේ තමයි එහෙම ඉන්නවනම් ජර්සි දෙකක්වත් දාගෙන ඉන්න ඕනලු. හැබැයි එහෙම ජර්සි දාගත්තාම වෙන්නෙ නින්ද යන එක. ඒක නිසා සීතලේ නිදිමරාගෙන දුක් විදිනවට වඩා ගෙදර ගිහින් නිදා ගන්න එක සැපයිලු. අපි නොහිතන පැත්තක්.

කන්ද උඩටම ත්‍රී වීල් එකේ යන්නෙ නැතුව පහලින් බැහැගත්තා. ගමනට අය කරපු ගානත් සාධාරණයි. ආපහු එනකොට තමයි තේරුනේ කලින් වතාවෙ කොච්චර දුරක් පයින් ගිහින් තියෙනවද කියලා. පළාත ගැන දිගක් පළලක් හරියට දන්නෙ නැති නිසා අපිට ඒක දැනෙන්නේ නෑ. සීතල හම හරහා ඇටකටුවටම වදිනවා. හැබැයි කන්ද උඩට ගියාම සීතල නැතුව ගියා. එච්චර මහන්සියි.

උණු වතුර ටිකක් එහෙම නා ගෙන උණු උණු කෝපි කෝප්පයකුත් බීලා පට්ට සීතලේ නිදාගත්තා. පහුවදා හෝර්ටන් තැන්නේ යන්න බලාපොරොත්තුවෙන්.

සටහන :- ඇම්.පී.බී

Comments