හෝර්ටන්තැන්න|Horton Plains
ඔන්න ඉතින් පහුවදාටත් එලි වුනා. කලින් දවසේ
නුවරඑළිය නගරයේ ටිකක් විතර ඇවිදපු අපි හෝර්ටන්තැන්න බලා යන්න පිටත් වුනා. නුවරඑළිය
සිට නානුඔය පාරේ තමයි හෝර්ටන්තැන්නට යනවනම් යන්න ඕනා. වටපිට බල බල දිගටම ගිය අපිට එක පාරටම බ්ලැක්පූල් හංදියෙන්
හරවන්න බැරි වුනා. ඒක තේරුනෙත් නානුඔය දුම්රිය ස්තානය මුන ගැහුනට පස්සේ. මොනවා
කරන්නද ආපහු හරවගෙන ආවා. හැබැයි ඔය අතරමගදි අපි තවත් සුන්දර දර්ශනයක් දැක්කා. එ
තමයි අර ලබුකැලේ හරියේදි අපි දැකපු මහා දැවැන්ත MACKWOODS අකුරු පෙළ ඉවත් කරලා ඒ වෙනුවට ආපු DAMRO Tea අකුරු පෙළ වගේම තවත්
අකුරු පෙළක්. EDINBURGH කියලා තමයි ඒ
අකුරු තියෙන්නේ. හැබැයි මේක නම් ඉස්සර ඉඳන්ම තිබුනද කියන්න නම් මං දන්නේ නෑ. දන්න
කෙනෙක් ඉන්නවානම් ඒ ගැන පුංචි අදහසක් දක්වන්න.
ආපහු ඇවිත් බ්ලැක්පූල් හංදියෙන් හරියටම
හරවලා හෝර්ටන්තැන්න පැත්තට පිටත් වුනා. අපි මේ ඉන්නේ දීර්ඝ සති අන්තයක කියලා කලින් ලිපියක කිව්වා මතක ඇති. ඒක හින්දාම හෝර්ටන්තැන්න පැත්තටත් මාර වාහන තොගයක් ඇදෙනවා.
අහස සම්පූර්ණයෙන්ම කළු වලාවන්ගෙන් වැහිලා. මීදුම කොච්චරද කියනවානම් පාර පේන්නේ
ඉස්සරහින් යන වාහනයක ලයිට් වලින් විතරයි.
වැස්ස නිසා සමහර තැන් වල මාර්ගයෙන් කොටසක්
නාය ගියපු ආකාරයක් දකින්නට ලැබුනා. අඹේවෙල වගේ පැති පහුකරගෙන ගොඩක් ඉස්සරහට ගියාම
මිනිස් ජනාවාස වලින් තොර ප්‍රදේශ තමයි දිගටම හම්බවෙන්නෙ. අපිට ඉස්සරහින් ගියෙ බස්
එකක්. සීඝ්‍ර නැග්මත්, පටු, වංගු සහිත පාරත් නිසා බස් එක බොහොම අමාරුවෙන් තමයි
යන්නේ. සමහර තැන් වල රිවස් කර කර තමයි වංගු ගන්නේ. ඉස්සර දහඅට වංගුවෙ ගියා වගේ. ඒ
කියන්නෙ ඔය දැන් තියෙන විදිහට නුවර - මහියංගණ පාර හදන්න කලින්.
හෝර්ටන්තැන්නට ඇතුල් වෙන තැන ටිකට් එක ගන්න
මම බැහැලා ඉස්සරහට ගියා. අම්මා.... සීතල. ජර්සි මොකටද කියලා හිතෙනවා. අත් දෙකම
ජර්සිය ඇතුලට ඔබාගෙන කවුන්ටරය ගාවට ගියා.
ඉන්න මිනිස්සු ගානටයි වාහනයටයි අදාල වෙන විදිහට ටිකට් එකක් දෙනවා. පස්සේ ටිකට් එක
චෙක් කරන නිළධාරියාට දෙන්න ටිකට් එක අල්ලගන්නවත් බෑ. ඇගිලි හිරිවැටිලා. එච්චරටම
සීතල. මීදුමත් එක්ක පින්න අරගෙන එන හුළග ඔනේම නෑ. මෙතන තමයි හෝටන්තැන්නට යද්දී
හම්බවෙන පළමුවෙනි චෙක්පොයින්ට් එක. එතන ඉදන් 5km අපිට වාහනෙන් යන්න පුලුවන්.
හෝර්ටන්තැන්නට ඇතුල් වූයෙමු |
මේ හොර්ටන්තැන්න ආශ්‍රිතව අපේ රටේ ඉතිහාසයට
අදාල වැදගත් සිදුවීම් ගණනාවක්ම වෙලා තියෙනවා. ජනප්‍රවාද, පුරාවෘත්ත වලට අනූව නම් රාම
රාවණා මහා යුද්ධය සිද්ධවෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ. ඔය යුද්ධයේදී සිංහල හමුදාව
හනුමන්තාගෙ වලිගයට ගිනි තිබ්බලු. ඒ වේදනාවෙන් හනුමන්තා දගලද්දී වලිගය වැදිලා
පිච්චුන ප්‍රදේශයක් විදිහට තමයි මේ හෝර්ටන්තැන්න ගැන කියවෙන්නේ. මේ ප්‍රදේශයේ දකින්න පුලුවන් දෙයක් තමයි
වනාන්තරයක් වුනත් ගොඩක් උසට වැවුනු ගස් නැති වීම. පුංචි පුංචි පඳුරු ස්වරූපයේ ශාක
ව්‍යප්තියක් තමයි දකින්න ලැබෙන්නේ. ඒකට හේතුව අර විදිහට පිළිස්සීම කියලයි
කියවෙන්නේ. තදින් පිච්චුන නිසා ගොඩක් උසට ගස් වැවෙන්නේ නෑලු. පස්සේ කාලෙක මේ ගැන පර්යේෂණ පවත්වපු විද්වතුන් පිරිසක් හොයාගෙන
තියෙනවා මේ පැත්ත තද තාපයකට ලක්වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ කාරණාව අර මුලින්
කියපු දේ තහවුරු කරන සාධකයක් විදිහට ගන්න පුළුවන්.
රාවණා ඇල්ල, සීතාඑළිය වගේ රාවණා රජතුමා
සම්බන්ධ සමහර සිද්ධීන් සිදුවූ බව කියන ගම් මේ හෝර්ටන්තැන්නෙ ඉදලා එච්චරම දුරකින්
නෙවෙයි පිහිටන්නේ. ගුවනින් යන්න එන්න හැකියාව, න්‍යෂ්ඨික අවි භාවිතය වගේ දේවල්
තිබුනා කියලා කියවෙන කාලෙක අර කියපු දුරවල් තවත් කෙටි වෙනවා. මේවා හුදෙක්ම පුරාවෘත
කියලා බැහැර කරන්නේ නැතුව මේ ගැන පවත්වන පර්යේෂණ අනිවාර්‍යයෙන් වැඩි කරන්න ඕනා.
තාක්ෂණය ගොඩාක් දියුණු බටහිර රටවල් මේවා ගැන නම් කවදාවත් හොයන්න උදව්වක්වත් කරන්නේ
නෑ. තවත් දුර්වල කරන්න හදනවා මිසක්. මොකද ආසියාවේ දියුණු ජාතියක් හිටියා කියන එක
තහවුරු වෙන එක සුද්දාට මදිකමක්,පාඩුවක්. එහෙම වුනොත් සුද්දාට වන්දනාමාන කරන එක,
උගෙ දේවල් ලොකු කරගෙන ඉන්න එක නැතිවෙනවා.
වාහනෙන් යන්න පුළුවන් අන්තිම තැනට ඇවිල්ලා
එලියට බැස්සා විතරයි ඉන්නෙ ෆ්‍රිජ් එකකද කියලා හිතුනා. පයින් යන ගමන ආරම්භ කරන
කොටම පඩිපෙලක් බැහැලා පහලට යන්න ඕනා. ඒක බැහැලා ගියාම කිසිම සීතලක් නෑ. සොබාදහමෙ
හැටි.
මග දිගටම තියෙන්නේ කලිනුත් කීවා වගේම කුඩා
පදුරු ස්වරූපයේ ශාක. තැනින් තැන තියෙන ගසුත් මහා උසක් නෑ. මහරත්මල් වගේ ඒවා
හැමතැනම දකින්න පුළුවන්. ඔන්න අපි අර පාර දෙකට බෙදෙන තැනට ආවා. ඒ කියන්නේ තුන්මං
හන්දියක්. දකුණු පැත්තට ගියොත් චිමිනි පොකුණ, බේකර්ස් ඇල්ල, මහා ලෝකාන්තය, කුඩා
ලෝකාන්තය .... ඔය රූට් එකේ යන්න පුලුවන්. වමට හැරුනොත් කුඩා ලෝකාන්තය, මහා
ලෝකාන්තය,............. ඔය රූට් එකේ යන්න පුලුවන්. ඒ කියන්නෙ මේ පාර රවුමක් විදිහට
තියෙන එකක්. කොහොම හරි සම්පූර්ණ දුර 9km විතර තියෙනවලු. අපි දකුණු පැත්තෙන් යන්න
තීරණය කරා.
ගමන් මග |
චිමිණි පොකුණ ඔතන රතු පාටට පේන්නේ එතන ඉන්න පුද්ගලයෙක්. විශාලත්වය හිතාගන්න පුලුවන් |
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය කියනනේ
ලංකාවේ තෙත් කළාපයේ පිහිටන එකම ජාතික වනෝද්‍යානය. කඳුකර වනාන්තරයක් වුනත් මෙක
සානුවක්. තැනින් තැන තියෙන පටු නිම්න ඔස්සේ දිය දහරාවන් ගලාගෙන යනවා. සමහරවිට මේවා
මහා ගංගාවල මූලාරම්භයන් වෙන්න පුළුවන්. ඒවා ගැන කියන්න හරියටම දන්නේ නෑ. මේකේ ඉන්න
කොටි එහෙමත් ඔය රූපවාහිණී වැඩසටහන් වල පෙන්නලා තියෙනවා. හැබැයි මටනම් මේ සංචාරය
ඉවර වෙනකන්ම දකින්න හම්බවුනේ ගෝන්නු හත් දෙනෙක් විතරයි. වෙන ආයෙ රිළවෙක්වත් නෑ.
නිම්නයක් ඔස්සේ ගලාබසින දියදහරාවක් |
යන මග දිගටම විවිධ දැන්වීම් පුවරු සවි කරලා
තියෙනවා. ඒවගෙන් උපදෙස් ලබාදීම වගේම දැනුවත් කිරීමත් කෙරෙනවා. කොහොමහරි ඔය පොඩි ඇළ
පාරක් ගාව තිබ්බ එක බෝඩ් එකක ගහලා තිබුනා ඒ ඇලේ ඉන්න මාළු වර්ගයක් ගැන. ඒ මාළුවා
ඇරෙන්න වෙන කිසිම මත්ස්‍ය විශේෂයක් ඒ ඇලේ දකින්නට ලැබෙන්නේ නෑ. ඉන්න එකම මාලුවත්
බ්‍රිතාන්‍ය ජාතිකයන් බිලී බාන්න බෝ කරපු වර්ගයක්. ඒකෙත් හැටි.
බේකර්ස් ඇල්ල කිට්ටු වෙනකොට නම් කඳු ගතියක්
පොඩ්ඩක් දැනෙනෙවා. ප්‍රධාන පාරෙන් දකුණු
පැත්තට හැරිලා පොඩ්ඩ දුරක් ගියාම මේ බේකර්ස් ඇල්ල හම්බවෙනවා. බේකර්ස් ඇල්ලට ඒ නම
ලැබෙන්න හේතුවෙලා තියෙන්නේ ඒක හොයාගත්තු සර් සැමුවෙල් බේකර් ගේ නමින්. හැබැයි
සැමුවෙල් බේකර් ඕක හොයාගන්න කලින් අපේ රටේ මිනිස්සු ඕක දැකලාම තිබුනෙ නැද්ද කියලත්
ප්‍රශ්නයක් එනවා. මීටර 20 විතර උස මේ ඇල්ල නිර්මාණය කරමින් ගලායන්නේ බෙලිහුල් ඔය.
ඉස්සර නම් කට්ටිය ඕකෙන් නාගෙන එහෙමලු ගියෙ. දැන්නම් නාන්න බැරිවෙන්න ආරක්ෂිත වැටක්
එහෙම හදලා තියෙනවා.
බේකර්ස් ඇල්ල |
බේකර්ස් ඇල්ල පහු කරනවත් එක්කම වගේ දැඩි
බෑවුමකට අවතීර්ණ වෙනවා. මේ බෑවුම බැහැපු ගමන්ම වගේ ආපහු කන්දක් නගින්න ඕනා. ඒ කන්ද
නැග්ගට පස්සේ හම්බවෙන්නේ මහ පුදුම දේශගුණික කළාපයක්. සෑහෙන්ට දැනෙන උණුසුමක් මේ
හරියෙ තියෙනවා. ජර්සි දෙක තුන දාගෙන යන අය මේ හරියෙදි ඒවා ගලවලා දාඩිය පිහදානවා.
මේක තමයි අපේ මේ පුංචි රටේ තියෙන මහා පුදුමය. පැය ගානක් ඇතුලත සම්පූර්ණයෙන්ම වෙනස්
දේශගුණික කළාප හම්බවෙනවා. ලෝකේ එහෙම දෙයක් තියෙන එකම රටත් මේකම තමා. කුඩා ලෝකාන්තය
පැත්තෙන් ගියපු කට්ටිය දැන් අපිට මූණගැහෙනවා. ඔක්කොම එන්නේ මූණ දෙක කරගෙන. ඒ පාර
සෑහෙන්න අමාරු කියලා තමයි හැමෝම කියන්නේ.
ඔන්න ඉතින් කොහොම කොහොම හරි මහා ලෝකාන්තය
ගාවට ආවා. ලෝකාන්තය කියන්නෙ නම් සොබාදහමේ අපූර්ව නිර්මාණයක්. අඩි 2800 විතර දැඩි
ප්‍රපාතයෙන් පහල බලපුවාම පේන්නෙ බලංගොඩ නගරය. මධ්‍යම පළාත හා සබරගමුව පළාත වෙන්කරන
පළාත් මායිම වැටිලා තියෙන්නේ හරියටම මෙතැනින්. “WORLD’S END”කියලා සඳහනකුත් මෙතන තියෙනවා. මෙතන අර හමුදා
කඳවුරු වටේට තියෙන රවුම් රවුම් කම්බියක් ඇදලා තියෙනවා. ඒ මිනිස්සු ප්‍රපාතයට
වැටෙයි කියලා බයේ ආරක්ෂාවට වෙන්නැති මයෙ හිතේ. බැරිවෙලාවත් වැටුනොත් මැරෙන්නේ පහළට
වැටිලා නෙමේ. අර කම්බියෙ ඇමිණිලා ඉරිලා.
WORLD'S END අර කම්බියත් පේනවා |
එතනින් අපි ආපහු හැරෙන්න තීරණය කරා. හේතුව
වුනේ දිගටම ගියත් හම්බවෙන්නෙ කුඩා ලොකාන්තය විතරයි. අනික කට්ටිය කියපු විදිහට පාර
නම් අන්තිමයි. එක තැනක් බලන්න දුක් විදිනවට වඩා දන්න පාරෙ ආපහු එන් එක සැපයි.
අපිත් එක්ක මේ ගමන ආපු 3 වසරෙ ඉන්න පුතායි මොන්ටිසෝරි යන දුවයි වැඩිහිටියෙක්ටත්
යන්න අමාරු මේ පාරේ මෙතෙක් දුර පයින්ම ආවා. හැබැයි දැන් නම් දුවට ඇවිදින්න
අමාරුයි. ඒක නිසා මටයි අයියාටයි සිද්ද වුනා එයාව වඩාගෙන දිගටම එන්න. කොල්ලත් පොඩි
පොඩි සද්ද දැම්මට පයින්ම යනවා. කෙල්ල මොන්ටිසෝරි ගියාට කිලෝ 25 විතර බරයි.
සිමෙන්ති කොට්ට බාගයක් උස්සගෙන කිලෝමීටර් හතරක්- හතර හමාරක් පයින් යන්න වුනාම
කොහොමද ආතල් එක. ඒකත් ගල් මුල් තියෙන ලිස්සන පාරක.
කොහොම කොහොම හරි අපහු පාරක් අර චිමිණි පොකුණ
එහෙම පහු කරගෙන ගමන පටන්ගත්ත හරියටම ආවා. දැන් අවසානය පේනවා. ඒත් යාගන්න බෑ
මහන්සියි. මං පොඩි දුවවත් වඩාගෙනම යනකොට මට ඉස්සරහින් මැදිවියේ අංකල් කෙනෙකුයි ඇන්‍ටි
කෙනෙකුයි ගියා. ඒ දෙන්නට වඩා මං ගොළුබෙල්ලෙක් විතර වේගවත්. මාව දැකපු අංකල් මං
දිහා හැරිලා කියනවා,
“කොහොමද?, නියමයි නේ... මම අපේ දෙන්නවම
වඩාගෙන ඔහොම ගියා”
මට එකෙක්ව වඩාගෙන යන්න බෑ වගේ. පොර
දෙන්නෙක්ව වඩාගෙන ගිහින්. මං ඉස්සර වෙලා යනකොට ඇන්ටි පොඩි දුවට කියනවා
“පුතේ දැන් ටිකක් බැහැලා යන්න. තාත්තට
මහන්සියිනේ...........”
මම මුකුත් කිව්වෙ නෑ. එතකොටම වගේ ඒ හරියෙන්
ආපු අපේ අයියාව දැකලා ඇන්ටිට සීන් එක තේරෙන්න ඇති.
කොහොමහරි ඔන්න ගමන ඉවර කරා. ආපහු නුවරඑළි
යන්න ඕනා දැන්. මේ වෙනකොට වෙලාව හවස 4.30 විතර ඇති. පොඩ්ඩක් මහන්සි අඩුවෙනකන් ඉඳලා
එතන තියෙන කැන්ටිමෙන් කළු කඩ ගාණට කිරිකෝපි එකකුත් බීලා එන්න පිටත් වුනා. දැන්
මීදුම මාරම විදිහට වැඩියි. කොච්චරද කියනවා නම් ලයිට් එලියටවත් පාර පේන්නෙ නෑ.
වාහනය ඇතුලෙත් තද මීදුමක් තියෙනවා වගේ තමයි තේරෙන්නෙ. වින්ඩ්ස්ක්‍රීන් එකෙත්
තට්ටුවක් වගේ අළුපාටට මීදුම. ඒ අස්සෙ සමහර
ඡායාරූප ශිල්පීන් පට්ට සීතලේ ගැහි ගැහී ගෝන්නුන්ගේ ඡායාරූප ගන්නවා. අප්පා
මොන කරුමයක්ද?
දැන් මේ පාරේ වාහනය එළවගෙන යනවා කියන්නෙ
ඇත්තටම් අභියෝගයක් වෙලා. එකක් පාර පේන්නෙ නෑ කෑලි කපන්න පුළුවන් මීදුම. අනික සීඝ්‍ර
නැග්මක් විදිහට කලින් එනකොට හම්බවුනුන පාර දැන් හම්බවෙන්නේ දැඩි බෑවුමක් විදිහට.
අයියා වාහනය ගෙනියනවා. මම අනික් පැත්තෙ ඉඳගෙන පාර බලනවා. හරියට අර ඩකාර් රේස් යනවා
වගේ. ඔය විදිහටම එක සැරයක් මායි යාළුවෙකුයි පල්ලෙකැලේ මැච් එකක් බලන්න ගිහින්
අලුත්ම පාරක් හොයාගෙන ආවා. යාළුවා එළවනවා. මම ගූගල් මැප් එකෙන් පාර බලනවා.හැබැයි ඒ
පාරෙ කොටසයි ගූගල් මැප් එකේ තිබුනෙත්. ඉතුරු ටික දන්න කැටයම් දාලා හොයාගත්තේ.
කොහොමහරි අපි හිමීට හිමීට අර කන්ද බස්සනකොට
පිටිපස්සෙන් ආපු කාර් එකක් හෙඩ්ලයිට් ගහනවා, සිග්නල් දානවා, හෝන් එක ගහනවා එක
විකාරයයි. පොරට සෑහෙන්ට හදිස්සියි වගේ. අපි කතාවෙලා මනුස්සයාට යන්න දුන්නා. මෙන්න
ඒ පාර මේ යකා කොට කොට යනවා. පාර මොන වගේද
කියලා ඇත්තටම දැනෙන්න ගන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්න ඕනා. අපි ආතල් එකේ යනවා. මොකද
දැන් අපිට පාර පෙන්නගෙන ඉස්සරහින් රතු පාට ලයිට් දෙකක් යනවා.
අඹේවෙල ගොවිපොල හරියෙත් මොකක්වත් පේන්නේ නෑ.
එච්චරටම මීදුම. එහෙ තියෙන අර දැවැන්ත හුළං
ටර්බයින යන්ත්‍ර එක පාරටම මීදුම අතරින් මතුවෙන්නේ අවතාර මතුවෙනවා වගේ. පාර
හොයාගන්න තියෙන එක ක්‍රමය තමයි අයිනේ තියෙන සුදු ඉර. මොකද ඒක විතරයි ලයිට් එළියටත්
පේන්නේ. ඔය අමාරුකම් විඳගෙන බ්ලැක්පූල් හංදියට ආවට පස්සේ නම් එච්චර ගැටලුවක් වුනේ
නෑ. මොකද එතනින් එහාට හොඳ පුළුල් පාර.
මීදුමෙන් වැසී යන පට්ටිපොල දුම්රිය නැවතුම |
අපි නුවරඑළිය නගරයට එනකොට රෑ හතට කිට්ටුයි.
රෑට කන්න කියලා කලින් දවසේ කාපු තැනටම ගියා. කරුමෙ කියන්නේ අපි එතනට යනකොට මුළු
ටවුන් එකටම ලයිට් නෑ. හැබැයි ඒ නිසා සෙනගත් නෑ. හැබැයි එතන සේවකයෝ ඉටිපන්දම් ගහලා
අමුතුම රෑ කෑමක් සෙට් කරන්න ගියා. එතකොටම ලයිට් ආවා. කාලා ආපහු නවාතැනට ඇවිත්
නිදාගත්තා. පහුවදා සඳතැන්නට යමුයි කියලා.
Comments
Post a Comment